Browsing by Author "කුමාරි, ඩබ්.එම්.අයි.එස්.එස්."
Now showing 1 - 2 of 2
- Results Per Page
- Sort Options
Item ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම් සඳහා බලපාන හේතු සාධක අධ්‍යයනය(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2022) කුමාරි, ඩබ්.එම්.අයි.එස්.එස්.සියදිවි නසා ගැනීම යනු ලොව පුරා මරණ සිදුවීමේ හේතු අතර ප්‍රධාන හේතුවකි (ලෝක සෞඛ්‍ය සංවිධානය, 2020). සියදිවි නසා ගැනීම් හේතුවෙන් සෑම තත්පර 40කට වරක් ම අයෙකු මිය යන බව හෙළිදරව් කර ගෙන ඇත (ලෝක සෞඛ්‍ය සංවිධානය, 2020). මෙසේ ලොව පුරා දරුණු ඛේදවාචකයක් වන සියදිවි නසා ගැනීම ශ්‍රී ලංකාව තුළ ද කැපී පෙනෙන ගැටළුවකි. මෙහිදී 1995 වර්ෂය පිළිබඳව සුවිශේෂීව සැළකීමේදී ලෝකයේ ඉහළම සියදිවි නසා ගැනීමේ අනුපාතිකයක් වාර්තා කළ රට බ වට ශ්‍රී ලංකාව පත් වීය. එම අනුපාතිකය 100,000/47ක් ලෙස වාර්තා වී ඇත (Palihawadana, 2017). නමුත් 2000 වසර පමණ වන විට එම අනුපාතිකය 100,000/23ක් දක්වා අඩුවීමක් පෙන්වා ඇති බව (Fernando, 2010) සඳහන් කර ඇත. 2019 වසර වන විට සියදිවි නසා ගැනීමේ අනුපාතිකය අනුව ලෝකයේ 29වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වී ඇත. එනම් 100,000/14.6ක් වශයෙනි (Senavirathna & Sanjeewani, 2020). එබැවින් ශ්‍රී ලංකාව තුළ සියදිවි නසා ගැනීම් සම්බන්ධ විවිධ පැතිකඩ ඔස්සේ විවිධ අධ්‍යයනයන් සිදු කර ඇත. ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම සම්බන්ධ මෑතකාලීන දත්ත භාවිත කරමින් සිදුකර ඇති පර්යේෂණයන් අල්ප වීමත් ශ්‍රී ලංකාව තුළ සියදිවි නසා ගැනීම් සඳහා හේතු සාධක සහ රටාවන් විවිධ කාලවකවානු තුළ විවිධ ප්‍රවණතාවන් පෙන්නුම් කිරීමත් හේතුවෙන් මෙම අධ්‍යයනය ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම් සඳහා බලපාන හේතු සාධක කෙබඳුද යන පර්යේෂණ ගැටළුව ඔස්සේ සිදු කර ඇත. මෙහිදී ශ්‍රී ලංකා පොලිසිය මඟින් නිකුත් කරන පොලිස් වාර්තාවලට සීමා වීම, එම දත්තවල නිරවද්‍යතාව එනම්, වසරක් තුළ සියදිවි නසාගැනීම් හේතුවෙන් මියයන සියලුම පුද්ගලයින් සංඛ්‍යාව වාර්තාවන්හි අන්තර්ගත වී ඇතැයි දැක්වීම අපහසු වීම, ඒ හේතුවෙන් එම දත්ත විශ්ලේෂණයේ දී මෙන්ම දත්ත යොදාගනු ලබන කාලසීමාවට අනුව ඉදිරි වර්ෂ සඳහා පුරෝකනය කිරීම්හි දී සියදිවි නසා ගැනීම් සම්බන්ධ රටාවන්හි වෙනස්වීම් සිදුවීමට අවස්ථාවක් තිබිය හැකි වීම යනාදී සීමාවන්ට යටත්ව සියදිවි නසා ගැනීමට බලපාන සාධක අතරින් ප්‍රධාන සාධක කවරේදැයි හඳුනා ගන්නා ලදි. Bandara and Nawarathna (2018) විසින් ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම් හා සම්බන්ධ ප්‍රධාන සාධක තීරණය කිරීම සහ සියදිවි නසා ගැනීමේ අවදානම පුරෝකතනය කිරීම පිණිස සිදු කරන ලද අධ්‍යයනයේ දී දත්ත විශ්ලේෂණයට අනුව පවුල් ආරවුල්, කායික ආබාධ සහ මානසික ආබාධ යන විචල්‍යයන් දැඩි ලෙස සම්බන්ධ වී ඇති පළමුවන සාධකය සමාජ ප්‍රශ්න ලෙස අර්ථ දක්වා ඇත. ආර්ථික ගැටළු, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සහ වැඩිහිටියන් සමඟ ආරවුල් යන විචල්‍යයන් දෙවන සාධකය වෙත දැඩි ලෙස සම්බන්ධ වී ඇති අතර එම සාධකය අඩු පුද්ගලික ආදායම ලෙස අර්ථ දක්වා ඇත. ඊට අමතරව තෙවන සාධකය සමඟ රැකියාවේ ගැට`ළු, ප්‍රේම සබඳතා බිඳවැටීම සහ සබඳතා අහිමි වීම යනාදී විචල්‍යයන් දැඩි ලෙස සම්බන්ධ වී ඇති අතර එය පෞද්ගලික ජීවිතයේ ඉලක්ක අහිමි වීම ලෙස අර්ථ දක්වා ඇත. සියදිවි නසා ගැනීම සඳහා අධ්‍යාපනය, සමාජ තත්ත්වය, වයස, ස්ත්‍රී පුරුෂභාවය සහ වෙනත් බොහෝ සාධක වැදගත් වන හේතුවෙන් සියදිවි නසා ගැනීම් සම්බන්ධ සාධක හඳුනා ගැනීම සහ අනාගත පුරෝකතනය සඳහා Lakmali and Nawarathna (2018) විසින් ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම් සඳහා සිවිල් සහ අධ්‍යාපනික සාධක මඟින් කරනු ලබන බලපෑම පිළිබඳ කරන ලද අධ්‍යයනයේ දී ස්ත්‍රී පුරුෂභාවය, වයස, අධ්‍යාපන මට්ටම සහ සිවිල් තත්ත්වය වැනි සමාජ ආර්ථික සාධක ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම් සඳහා වඩාත් බලගතු සාධක බවට හඳුනා ගෙන ඇත. තවද මෙහිදී වැඩි අවධානයක් යොමු කළ යුතු බවට දැක්වෙන්නේ පිරිමි, යොවුන් වියේ සහ අවම අධ්‍යාපන මට්ටමක් සහිත පුද්ගලයන් වේ.Item ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම්හි ප්‍රජාවිද්‍යාත්මක ලාක්ෂණිකයන් පිළිබඳ අධ්‍යයනය(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021) කුමාරි, ඩබ්.එම්.අයි.එස්.එස්.සියදිවි නසා ගැනීම යනු ගෝලීය වශයෙන් මිනිසුන් 703,000ක ප්‍රමාණයක් සෑම වසරකදී ම මිය යන බව දැක්වෙන ලොව පුරා දරුණු ඛේදවාචකයකි. ලෝකයේ පමණක් නොව ශ්‍රී ලංකාව තුළ ද සියදිවි නසා ගැනීම යනු දැඩි අවධානයකට ලක්විය යුතු පැතිකඩකි. 2019 වර්ෂය වන විට සියදිවි නසා ගැනීමේ අනුපාතිකය අනුව ශ්‍රී ලංකාව ලෝකයේ 29වන ස්ථානයේ පසු වී ඇත. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ සියදිවි නසා ගැනීම පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු වේ. එබැවින් ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම්හි ප්‍රජාවිද්‍යාත්මක ලාක්ෂණිකයන් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා සිදු කරන ලද මෙම අධ්‍යයනයේ දී ද්විතියික දත්ත මූලාශ්‍රයක් වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2010 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වූ සියදිවි නසා ගැනීම් සම්බන්ධ දත්ත යොදා ගෙන ඇත. මෙහිදී එම කාලයේ දී ශ්‍රී ලංකාවේ සිදු වූ සියදිවි නසා ගැනීම් සම්බන්ධව පුමිතිරිභාවය, වයස් මට්ටම, ආගම, විවාහක අවිවාහකභාවය සහ අධ්‍යාපන මට්ටම යන ප්‍රජාවිද්‍යාත්මක සාධක ඔස්සේ අවධානය යොමු කර ඇත. ඒ සඳහා විස්තරාත්මක සංඛ්‍යානමය ශිල්ප ක්‍රම යොදා ගෙන ඇත. මෙහිදී පුරුෂයන් අතර සියදිවි නසා ගැනීම් 75%කට වඩා ඉහළ බව, සමස්ත සියදිවි නසා ගැනීම්වලින් 26%ක් අවුරුදු 60ට වැඩි පුද්ගලයන් බව, සියදිවි නසා ගැනීම්වලින් 50%කට වැඩි ප්‍රමාණයක් 1-10 වසර දක්වා අධ්‍යාපනයක් ලබා ඇති පුද්ගලයින් අතර සිදු වී ඇති බව, විවාහක පුද්ගලයන් අතර සියදිවි නසා ගැනීම 76%ක් පමණ වන බව සහ සියදිවි නසා ගත් පුද්ගලයින්ගෙන් 70%කට වැඩි ප්‍රමාණයක් බෞද්ධාගමිකයන් වන බව තහවුරු කර ගෙන ඇත.