කුමාර බණ්ඩාර දේව ඇදහිල්ල පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්

Thumbnail Image

Date

2021

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Faculty of Humanities, University of Kelaniya

Abstract

ඓතිහාසික රිදී විහාරය හා එය පිහිටා තිබෙන රිදීගම කන්දට අධිගෘහිත කුමාර බණ්ඩාර දෙවියන් පිළිබඳව ගොඩනැඟී ඇති ජනශ්‍රැති හා එම දෙවියන් කේන්ද්‍ර කරගත් පුද පූජා සමුදායකි. ඒ පිළිබඳව මෙහිදී විමර්ශනය කෙරේ. එය සාහිත්‍ය මූලාශ්‍රය හා සම්මුඛ සාකච්ඡා මගින් සිදු කිරීමට බලාපොරොත්තු වේ. කුමාර බණ්ඩාර දෙවියන්ගේ උපත හා බැඳුණු ජනප්‍රවාද රාශියකි. එක් ජනප්‍රවාදයක් පත්තිනි කතා පුවත හා සම්බන්ධය. අනෙක් ජනප්‍රවාදයට අනුව කුමාර බණ්ඩාර දෙවියන් මදුරාපුර රජ පවුලක උපන් කුමරෙකි. කුමාර බණ්ඩාර දෙවියන්ගේ උපත හා බැඳුණු ජනප්‍රවාද අනුව මෙම දෙවියන්ට දේශීය හා විදේශීය සබඳතාවක් ඇත. දේව බැතිමතුන්ගේ පිළිගැනීමට අනුව මෙම දෙවියන් රිදීගම විහාරයේ උඩු විහාරය තුළ තැන්පත් කර ඇති රන්මුවා පිළිමයද එම ප්‍රදේශයද ආරක්‍ෂා කරනු ලබයි. මෙම ප්‍රදේශයේ බෞද්ධ බැතිමතුන් අතර ප්‍රචලිතව ඇති මෙම දේව ඇදහිල්ල හා බැඳුණු මංගල්‍ය හා පුද පූජා රාශියක් දැකගත හැකිය. ග්‍රාමීය බෞද්ධ ජනතාව අතර සුලභව දැකිය හැකි අලුත් සහල් මංගල්‍යය, අවුරුදු චාරිත්‍ර ආදිය මෙන්ම අප්‍රකට පුද පූජා සිරිත් වන දොර අරින මංගල්‍යය හා දොර වසන මංගල්‍යය ඒ අතර සුවිශේෂ වේ. රිදී විහාරයේ ඇසළ පෙරහැර මංගල්‍යය තුළද කුමාර බණ්ඩාර දෙවියන්ට ප්‍රධානත්වයක් හිමි වේ. රිදී විහාරයට ආසන්නව පිහිටා තිබෙන රම්බඩගල්ල හා කුඹුරුලෙන යන විහාරස්ථාන තුළ කුමාර බණ්ඩාර දෙවියන්ගේ ප්‍රතිමා හා සිතුවම් දැකගත හැකිය. උඩරට මුල් ඇඳුමට සමාන ඇඳුම්වලින් එම දෙවියන් සැරසී සිටී. කුරුණෑගල රිදීගම ප්‍රදේශයට අමතරව කුමාර බණ්ඩාර දේව ඇදහිල්ල මාතලේ ප්‍රදේශයේද ප්‍රචලිතව ඇත. එහෙත් මෙම දෙවියන් අනෙකුත් ප්‍රදේශවලට වඩා වැඩි භක්තියකින් වන්දනා මානයට පාත්‍රව ඇත්තේ රිදීගම ප්‍රදේශයේ යැයි පැවසීම නිරවද්‍යය. බෞද්ධ මුහුණුවරකින් මෙම දෙවියන් බෞද්ධ ජනතාව අතරට පැමිණියේ කුමක් නිසාද? යන්න පිළිබඳවත් එම දෙවියන් හා බැඳී ඇති ජනශ්‍රැති පිළිබඳවත් රිදීගම ප්‍රදේශයට ආවේණික මෙම දෙවියන් කේන්ද්‍ර කර ගෙන සිදු කෙරෙන පුද පූජා පිළිබඳවත් තොරතුරු බහුතර පිරිසකගේ අවධානයට යොමු කරවීම මෙම පර්යේෂණයේ අරමුණයි. ඒ තුළින් බොහෝ පිරිසකට ප්‍රදේශීය ජන ඇදහිල්ලක් පිළිබඳව අවබෝධයක් ලබාගැනීමටද අවස්ථාව උදාවේ.

Description

Keywords

රිදීගම, කුමාර බණ්ඩාර දෙවියා, පුදපූජා, ජනශ්‍රැති

Citation

හෑදෙණියේ සුමේධ හිමි (2021), කුමාර බණ්ඩාර දේව ඇදහිල්ල පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 12p.

Collections

Endorsement

Review

Supplemented By

Referenced By